ශ්‍රී ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය පද්ධතිය, ජාතික ආර්ථිකය මෙන්ම සමස්ත ජන ජීවිතයම නඟාසිටුවීමට එරෙහිව බලපාන ප්‍රබලතම සහ විනාශකාරීම සාධකයක් ලෙස දුම්වැටි භාවිතය හඳුනාගෙන තිබේ. නවතම දත්ත වාර්තාවලට අනුව, දුම්පානය හේතුවෙන් දෛනිකව ශ්‍රී ලාංකිකයන් 55 දෙනෙකු අකාලයේ මරණයට පත්වන අතර වයස අවුරුදු 15ට වැඩි දේශීය පිරිස් අතරින් වසරකට 20,000කගේ පමණ වටිනා ජීවිත මේ නිසා අහිමි වෙමින් පවතී.
ආර්ථිකමය වශයෙන් බලන කල, ශ්‍රී ලාංකිකයන් දුම්වැටි මිලදී ගැනීම සඳහා පමණක් දිනකට රුපියල් මිලියන 400ක (රුපියල් කෝටි 40ක) දැවැන්ත මුදලක් වැය කරන බව හෙළිවේ. මෙලෙස දිනපතා නාස්ති වන ධනයට අමතරව, දුම්වැටි භාවිතයේ අනිසි ප්‍රතිඵල හේතුවෙන් වැළඳෙන විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් පමණක් රජයට සහ ජනතාවට වාර්ෂිකව රුපියල් බිලියන 84.32ක (රුපියල් කෝටි 8,432ක) අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුව තිබීම ජාතික ආර්ථිකයට ඔරොත්තු නොදෙන බරක් වී ඇත.
















