ශ්‍රී ලංකා මහ බැංකුව 2026 මැයි මාසය තුළදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට ඩොලර් මිලියන 223.3ක් අලෙවි කර ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. එම මාසය තුළ මහ බැංකුව ඩොලර් මිලියන 12ක් මිලදී ගෙන ඇති අතර, ඒ අනුව ශුද්ධ අලෙවිය ඩොලර් මිලියන 211.3ක් ලෙස සටහන් වේ. මෙය 2024 වර්ෂයේ සිට මේ දක්වා මාසයක් තුළ මහ බැංකුව සිදුකර ඇති විශාලතම ඩොලර් අලෙවියයි.
මෙම අලෙවියේ ඇති විශේෂත්වය වනුයේ, පසුගිය 2025 වසර පුරාවටම මහ බැංකුව අලෙවි කර තිබූ සමස්ත ඩොලර් ප්‍රමාණය මිලියන 205.3ක් පමණක් වීමත්, 2024 වසරේ එම අගය මිලියන 183ක් වීමත්ය. එනම්, පසුගිය වසර දෙකෙහිම අලෙවි කළ ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් මැයි මාසය තුළ පමණක් වෙළෙඳපොළට නිකුත් කිරීමට මහ බැංකුවට සිදුව ඇත.
මැදපෙරදිග උද්ගතව ඇති යුධමය අර්බුදය හේතුවෙන් පෙබරවාරි මස අග සිට දේශීය රුපියල මත එල්ල වූ විනිමය පීඩනය පාලනය කිරීම සඳහා මෙම මැදිහත්වීම සිදු කර තිබේ. කෙසේ වෙතත්, වසරේ මුල් මාස දෙකේදී මහ බැංකුව සාර්ථකව ඩොලර් මිලදී ගැනීම් සිදු කළ අතර, වසරේ මුල් මාස 05 තුළ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 485.90ක් මිලදී ගැනීමට ඔවුන් සමත්ව ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2026 ජූනි 05 වන විට ශ්‍රී ලංකා රුපියල, වසරේ මේ දක්වා කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 7.8%කින් අවප්‍රමාණය වී ඇති බවයි. වෙළෙඳපොළ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මහ බැංකුව ඉදිරියටත් සිය මැදිහත්වීම් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















