සිය වැඩිම අලෙවියක් වාර්තා කරන 737 මැක්ස් (737 MAX) ගුවන් යානා නිෂ්පාදන ධාරිතාව, දැනට පවතින මසකට යානා 42 සිට 47 දක්වා ඉහළ නංවා ඇති බෝයිං (Boeing) සමාගම, එම අගය මසකට යානා 70 දක්වා ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳව අධ්‍යයනයක නිරත වන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කෙලී ඔට්බර්ග් මහතා පවසයි. මෙය සාක්ෂාත් වුවහොත් එය බෝයිං සමාගමේ ඉතිහාසයේ වාර්තා වන ඉහළම මාසික නිෂ්පාදන අගය වනු ඇත.
මේ වන විට බෝයිං සමාගමේ නිල ඉලක්කය වන්නේ මාසිකව යානා 63ක් නිෂ්පාදනය කිරීමයි. කෙසේ වෙතත්, 70 දක්වා නිෂ්පාදනය ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳව අදහස් දක්වමින් ඔට්බර්ග් මහතා සඳහන් කළේ, සිය සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව සහ පවතින සීමාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බවයි.
බෝයිං සමාගමේ ප්‍රධානතම තරඟකරුවා වන එයාර් බස් (Airbus) සමාගම සිය A320neo වර්ගයේ යානා මසකට 75ක් නිෂ්පාදනය කිරීමේ ඉලක්කයක් සමඟ ඉදිරියට යමින් සිටින අතර, මෙම තරඟකාරී පසුබිම හමුවේ බෝයිං සමාගම සිය නිෂ්පාදන වේගය මෙලෙස ඉහළ නැංවීමට උත්සාහ කරයි.
















