අමෙරිකානු හමුදා මැදිහත්වීම් සම්පූර්ණයෙන්ම නතර කරනු ලැබුවහොත් පමණක්, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා දින 30ක කාලසීමාවක් අවශ්‍ය වන බව ඉරාන සාම සාකච්ඡා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජික මජිඩ් ෂකේරි මහතා ප්‍රකාශ කරයි. ‘Fars’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර මාලාවත් සමඟ ඉරානය මෙම මුහුදු මාර්ගය වසා දැමූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් අප්‍රේල් මාසයේදී අමෙරිකානු නාවික හමුදාව විසින් මෙම සමුද්‍ර සන්ධිය වටලමින් නාවික අවහිරතාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් සාගර සහ පාරිසරික සේවා ගාස්තු අය කිරීමේ යෝජනාවක් පිළිබඳව සමාලෝචනය කෙරෙන බව ඉරාන පරිසර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශීනා අන්සාරි මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ මෙය හුදෙක් ගාස්තු අය කිරීමක් නොව, නාවික මාර්ගෝපදේශනය, මුදාගැනීමේ මෙහෙයුම් සහ සාගර පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් සපයන සේවාවන් සඳහා අය කරන්නක් බවයි. දැනට ඉරාන අවසරය මත මෙම මාර්ගය භාවිතා කරන නෞකාවකින් ඇමරිකානු ඩොලර් මිලියන 1.5ත් 2ත් අතර ගාස්තුවක් අය කරන බව ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහන් කරයි.
කෙසේ වෙතත්, අමෙරිකාව පවසා සිටින්නේ කිසිදු කොන්දේසියකින් හෝ අමතර බදු අය කිරීමකින් තොරව මෙම ජාත්‍යන්තර මුහුදු මාර්ගය වාණිජ නෞකා සඳහා සම්පූර්ණයෙන්ම විවෘත විය යුතු බවයි. ඕමානය සමඟ එක්ව මෙම සමුද්‍ර සන්ධියේ ස්වෛරීභාවය තමන් සතු බව ඉරාන බලධාරීන් දිගින් දිගටම අවධාරණය කරන පසුබිමක, මෙම උපායමාර්ගික මුහුදු මාර්ගයේ අනාගතය තවදුරටත් අවිනිශ්චිත වී ඇත.
















