‘දික්වල’ සුළි කුණාටුවෙන් පසු ආපදා කළමනාකරණ කටයුතු සඳහා යොදවා තිබූ වාහනවලට ඉන්ධන ලබා දීමේදී රුපියල් මිලියන 9.2ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් සහ සිවිල් සමාජ නියෝජිතයින් චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන සහ නුවරඑළිය සුරැකීමේ සංවිධානයේ දිනේෂ් ලංකා ගීගනගේ යන මහත්වරුන් විසින් විගණකාධිපතිවරයාට සහ නුවරඑළිය පළාත් පාලන සහකාර කොමසාරිස්වරයාට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර ඇත.
පසුගිය වසරේ ඇති වූ සුළි කුණාටුවෙන් පසුව, දිසාපතිවරයාගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය මහ නගර සභාව විසින් තලගල ඔය ආශ්‍රිතව සිදුකළ සංවර්ධන සහ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා කුලී පදනම මත බර යන්ත්‍ර සූත්‍ර සහ බැකෝ යන්ත්‍ර යොදා ගෙන තිබේ. මෙම මෙහෙයුම් සඳහා සහාය දැක්වීම පිණිස දිසාපති කාර්යාලය විසින් නගර සභාවේ නිල බැංකු ගිණුමට රුපියල් මිලියන 2ක් බැර කර ඇති අතර, ඉතිරි වියදම් නගර සභා අරමුදල් මගින් පියවා ගෙන ඇත. මෙම වියදම් සඳහා නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ මැදිහත්වීමෙන් අනුමැතිය ලබාගෙන ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
කුලී පදනම මත යොදවා තිබූ බර යන්ත්‍ර සහ වාහන සඳහා ඩීසල් වෙනුවෙන් රුපියල් මිලියන 9.2කට අධික මුදලක් වැය කර ඇති බව පැවසුනද, සිදුකර ඇති සැබෑ වැඩ ප්‍රමාණය සහ වැය වූ මුදල අතර දැවැන්ත පරතරයක් පවතින බව පලිහවඩන මහතා පෙන්වා දෙයි. මෙම මූල්‍ය අක්‍රමිකතාව පිටුපස විශාල වංචාවක් සිදුවී ඇති බවට සැක පළ කරමින්, සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
















