මීට වසර 25කට පෙර බංග්ලාදේශයේ ගෝපාල්ගාන්ජ් ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් ඉලක්ක කර එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස එරට කතෝලික ප්‍රජාව යළිත් වරක් රජයෙන් දැඩිව ඉල්ලා සිටී. ප්‍රහාරය සිදුවූ ස්ථානයේ පවත්වන ලද විශේෂ දේව මෙහෙයකින් අනතුරුව ඔවුහු මෙම ඉල්ලීම සිදු කළහ.
2001 වසරේ ජූනි 03 වන දින ඉරිදා දේව මෙහෙයක් අතරතුර එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් කතෝලික බැතිමතුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, 50කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූහ. බංග්ලාදේශයේ ක්‍රිස්තියානි සුළුතර ප්‍රජාව ඉලක්ක කර එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙස මෙය සැලකේ.
තහනම් කරන ලද ඉස්ලාමීය සංවිධානයක් වන ‘හර්කට් උල් ජිහාඩ්’ (Harkat-ul-Jihad) සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණි. කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා විමර්ශන නිලධාරීන් නිරන්තරයෙන් වෙනස් කිරීම සහ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාවලිය උදාසීන අයුරින් සිදුවීම හේතුවෙන් මෙතෙක් නිසි යුක්තියක් ඉටු වී නොමැති බව කතෝලික ප්‍රජාව කනගාටුවෙන් සඳහන් කරයි.
















