දකුණු ලෙබනනයේදී ලෙබනන් හමුදා සෙබළුන් ගමන් ගත් රථයකට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ලෙබනන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ජෙනරාල්වරයෙකු ඇතුළු 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අමෙරිකානු මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක මෙම ප්‍රහාරය සිදුවීම ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව ඇත.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ. හිස්බුල්ලා සංවිධානය හැරුණු විට ලෙබනන් රජයේ හමුදාව සමඟ තමන්ට ගැටුමක් නොමැති බව පවසන ඊශ්‍රායලය, අදාළ හමුදා රථය පූර්ව දැනුම්දීමකින් තොරව හිස්බුල්ලා සාමාජිකයන් සිටින ප්‍රදේශයක් දෙසට ගමන් කිරීම නිසා මෙම සිදුවීම සිදුවූ බවට නිදහසට කරුණු දක්වා ඇත.
කෙසේ වෙතත්, ලෙබනන් රජය පවසන්නේ ඊශ්‍රායලයේ මෙම ක්‍රියාව ඔවුන්ගේ ආක්‍රමණශීලී සහ ම්ලේච්ඡ ස්වභාවය විදහා දක්වන බවයි. සටන් විරාමයක් ක්‍රියාත්මක වන මොහොතක හමුදා නිලධාරීන් ඉලක්ක කරගත් මෙම ප්‍රහාරය කලාපයේ පවතින අස්ථාවරත්වය තවදුරටත් උග්‍ර කිරීමට හේතුවී තිබේ.
















