පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කරයි. අද (08) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පියතුමා සඳහන් කළේ, මෙම විමර්ශන නතර කිරීම හෝ ඒවාට බාධා පැමිණවීම ප්‍රහාරයෙන් බැටකෑ වින්දිතයන්ට කරනු ලබන දැවැන්ත අසාධාරණයක් බවයි. මොනතරම් බාධක පැමිණිය ද මෙම විමර්ශන කටයුතු අඛණ්ඩව කරගෙන යන ලෙස උන්වහන්සේ රජයෙන් සහ විමර්ශන කණ්ඩායම්වලින් ඉල්ලා සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා, තමන්ට එරෙහිව සුරේෂ් සලේ මහතා ගොනු කර ඇති අපහාස නඩුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කළේය. සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම හරහා මෙම අපහාස නඩුව අඩාල කිරීමට උත්සාහ කරන බවට පැතිර යන කතා පදනම් විරහිත බව ප්‍රකාශ කළ පියතුමා, අදාළ නඩු කටයුත්ත අතරතුර අධිකරණ පරිශ්‍රයේදී සුරේෂ් සලේ මහතා තමන් හමුවී නඩුව සමථයකට පත් කර ගැනීමට (ශේප් වීමට) යෝජනා කළ බව හෙළි කළේය.
තමන් කළ ප්‍රකාශයෙන් සලේ මහතාගේ නම ඉවත් කරගන්නේ නම් නඩුව ඉල්ලා අස්කර ගැනීමට ඔහු සූදානමින් සිටි බවත්, එහෙත් තමන් කළ ප්‍රකාශය සත්‍යයක් බව තවමත් විශ්වාස කරන බැවින් එම යෝජනාව සෘජුව ප්‍රතික්ෂේප කළ බවත් පියතුමා සඳහන් කළේය. “මට වන්දි ගෙවීමෙන් බේරෙන්න ඕනකම තිබුණා නම් එදාම ඒක කරන්න තිබුණා. නමුත් මට අවශ්‍ය වුණේ මා කියපු දේ සත්‍යයක් බව ඔප්පු කරලා පෙන්වන්නයි,” යනුවෙන් පවසමින් පියතුමා කියා සිටියේ ඕනෑම බාධකයක් මධ්‍යයේ වුව ද නීත්‍යානුකූලව එම නඩුවට මුහුණ දීමට තමන් සූදානම් බවයි.
















