සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන විශේෂ තෙදින මදුරු මර්දන ජාතික වැඩසටහන අද (08) පෙරවරුවේ කොළඹ මහනගර සභා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. දිස්ත්‍රික්ක 14ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72ක් ආවරණය වන පරිදි ලබන 10 වැනිදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ. ශ්‍රීප්‍රතාපන් සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහනේ සමාරම්භක අවස්ථාව පැවැත්විණි.
2026 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 37,000ක් පමණ වාර්තා වී ඇති අතර, එය 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 10,000ක පමණ වැඩිවීමකි. මෙම රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, කොළඹ (22%), ගම්පහ (17%), කළුතර (6%) සහ කොළඹ නගර සභා සීමාවෙන් (5.1%) ලෙස එය බෙදී පවතී. මීට අමතරව ගාල්ල, රත්නපුර සහ නුවර යන දිස්ත්‍රික්කවල ද රෝගී තත්ත්වයේ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පාසල්, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන මදුරුවන් බෝවන ප්‍රධාන ස්ථාන ලෙස කීට සමීක්ෂණවලදී හඳුනාගෙන ඇති බැවින් එම ස්ථාන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත.
තෙදිනක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ නිවාස, ආයතන, කර්මාන්ත පරිශ්‍ර සහ හිස් ඉඩම් ඇතුළු අධි අවදානම් ප්‍රදේශ පරීක්ෂාවට ලක් කෙරේ. මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන පාර්ශ්වයන්ට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති අතර, අධි අවදානම් කලාපවල ධූමායන කටයුතු ද සිදු කෙරෙනු ඇත. ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ උපරිම දායකත්වය අත්‍යවශ්‍ය බව බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරයි.
















