ප්‍රතිපත්ති සම්පාදකයන් සහ දේශපාලන අධිකාරිය නොමඟ යවමින් වාර්ෂිකව මහා භාණ්ඩාගාරයට හිමිවිය යුතු රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක ජාතික ධනය බදු සහන හරහා තමන් වෙත සූරාගන්නා බහුජාතික දුම්කොළ සමාගම්, එම මූල්‍ය ශක්තිය භාවිත කරමින් මෙරට මාධ්‍ය අවකාශය තුළ අතිදැවැන්ත “ව්‍යාජ පුවත් කර්මාන්තයක්” (Well-funded fake news industry) නඩත්තු කරන බව “වෙරිටේ රිසර්ච්” (Verité Research) ආයතනයේ නවතම පර්යේෂණ වාර්තාව මගින් අනාවරණය කර තිබේ. ජාත්‍යන්තර විද්‍යාත්මක පර්යේෂණ, ගෝලීය සම්මුතීන් සහ සැබෑ ආර්ථික දත්ත යටපත් කරමින්, සමාජය තුළ ව්‍යාජ මතයන් තහවුරු කිරීම සඳහා පැරණි ප්රචාරක මාධ්‍යවේදීන් (Propaganda journalists), සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (Social media influencers) මෙන්ම මුදලට පර්යේෂණ පවත්වන ඇතැම් ව්‍යාජ ආයතන ද (Research institutions that play for pay) දුම්කොළ කර්මාන්තය විසින් මිලදී ගෙන ඇති බව එහි සඳහන් වේ.
මෙම සංවිධානාත්මක මාධ්‍ය මෙහෙයුම් හරහා දුම්කොළ සමාගම් විසින් ප්‍රතිපත්ති සම්පාදකයන් බියවැද්දීම සඳහා ප්‍රධාන වශයෙන් ව්‍යාජ තර්ක සහ මුසාවන් තුනක් (Three main forms of fake news) සමාජගත කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි. එම ප්‍රධාන බොරු තුන මෙසේය:
1. සිගරට් බදු වැඩි කළහොත් පාරිභෝගිකයන් දුම්බීම විශාල ලෙස අඩු කරන බැවින් රජයේ සමස්ත බදු ආදායම පහත වැටෙනු ඇතැයි පැවසීම.
2. බදු වැඩි කිරීමත් සමඟ නීති විරෝධී ලෙස රට තුළට ගෙන්වන හොර සිගරට් (Smuggled substitutes) වෙළඳපොළ ආක්‍රමණය කර රජයේ ආදායම මුළුමනින්ම අහිමි වනු ඇතැයි බියගැන්වීම.
3. අධික බදු බර හේතුවෙන් දුම්කොළ කර්මාන්තය කඩා වැටී දේශීය දුම්කොළ ගොවීන් (Tobacco farmers) දැඩි ලෙස අසරණ වනු ඇතැයි අනුකම්පාව උපදවන ව්‍යාජ මත පලකිරීම.
කෙසේ වෙතත්, ලංකාවේ වෙරිටේ රිසර්ච් ආයතනය, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) මෙන්ම ලෝකයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල, ලෝක බැංකුව (World Bank), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සිදුකර ඇති සිය ගණනක් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා මගින් දුම්කොළ සමාගම්වල මෙම සියලුම බියගැන්වීම් සහ ව්‍යාජ තර්ක දත්ත සහිතව මුළුමනින්ම පරාජය කර තිබේ.
සිගරට් සඳහා උපරිම බදු පැනවීමේ සැබෑ ආර්ථික විද්‍යාත්මක න්‍යාය (Economic logic) අතිශය සරල සහ පැහැදිලි එකකි. දුම්වැටි මත බදු බර ඉහළ නැංවීම හරහා එකවර මූල්‍යමය සහ සෞඛ්‍යමය ප්රතිලාභ ත්‍රිත්වයක් රටට අත්වේ; පළමුවැන්න, රජයේ අත්‍යවශ්‍ය සමාජ සුබසාධන කටයුතු සඳහා අවශ්‍ය වන ජාතික ආදායම (Revenue) ක්ෂණිකව ඉහළ යාමයි. දෙවැන්න, නිදහස් සෞඛ්‍ය පද්ධතියට සහ රජයේ රෝහල්වලට අතිදැවැන්ත වැය බරක් පටවනු ලබන මාරාන්තික නිෂ්පාදනයක් භාවිත කිරීමෙන් ජනතාව වැළැක්වීම හෝ අධෛර්යමත් කිරීමයි. තෙවැන්න සහ වැදගත්ම කරුණ වන්නේ, ඉන්ධන හෝ විදුලි බිල මත පනවන බදු මෙන් නොව, සිගරට් මත පනවන බදු හරහා රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ වන ආහාර, ප්‍රවාහනය හෝ එදිනෙදා ජන ජීවිතයේ මිල ගණන් (Cost of living) කිසිදු ලෙසකින් ඉහළ නොයෑමයි. එබැවින්, දුම්කොළ මාෆියාවේ ව්‍යාජ මාධ්‍ය ප්රචාරණයන්ට නොරැවටී, රටට අහිමි වන රුපියල් කෝටි 1,730ක (බිලියන 17.3) ජාතික ධනය වහාම උපයා ගැනීම වෙනුවෙන් සිගරට් බදු වහාම ඉහළ නැංවීමට රජය කඩිනමින් පියවර ගත යුතු බව විද්වතුන් අවධාරණය කර සිටිති.
















