රැකියා හෝ වෙනත් අවශ්‍යතාවලට ඉතියෝපියාව (Ethiopia) වෙත ගොස් සිටියදී එරටදී පැහැරගැනීමට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙම පැහැරගැනීම සිදුකර අදාළ ශ්‍රී ලාංකිකයින් මුදා හැරීම සඳහා ඇමරිකානු ඩොලර් 90,000ක අතිවිශාල කප්පම් මුදලක් ඉල්ලා තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉතියෝපියානු ජාතිකයින් දෙදෙනෙකු සහ පකිස්ථාන ජාතිකයින් සිව්දෙනෙකු ඇතුළු සැකකරුවන් හයදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් සාර්ථක ලෙස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විශේෂ මෙහෙයුම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහ ඉතියෝපියාවේ අඩිස් අබාබා පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සෘජු සම්බන්ධීකරණයෙන් ඉතියෝපියානු ආරක්ෂක අංශ විසින් දියත් කර ඇත.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා සඳහන් කළේ, පැහැරගැනීමට ලක්වූ ශ්‍රී ලාංකිකයින් පිරිස සාර්ථකව මුදාගෙන දැනට ඉතියෝපියාව තුළ ඉතා සුරක්ෂිතව රඳවා සිටින බවයි. ඔවුන්ව කඩිනමින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ඉතිරි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මේ වන විටත් අමාත්‍යාංශය හරහා අඛණ්ඩව සම්බන්ධීකරණය වෙමින් පවතින බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















