රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද තත්ත්වය නිමා කිරීම සඳහා සටන්විරාම සාකච්ඡා පැවැත්වීමට යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ඉදිරිපත් කරන ලද සෘජු සාකච්ඡා යෝජනාවට සහය දීමට බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල නායකයෝ එකඟතාව පළ කරති.
බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර්, ජර්මන් චාන්සලර් ෆ්‍රීඩ්රික් මර්ස් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් යන මහත්වරුන් ලන්ඩන් නුවර ඩවුනින් ස්ට්‍රීට් (Downing Street) හිදී යුක්රේන ජනාධිපතිවරයා හමුවී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් පසු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේද ඔස්සේ යුද්ධය නිමා කිරීම සඳහා සෙලෙන්ස්කි මහතා ගෙන ඇති මෙම පියවර අගය කරන බවත්, මේ සඳහා ඇමෙරිකාවේ සහ යුරෝපයේ සක්‍රීය දායකත්වය ලබාදීමට සූදානම් බවත් ඔවුහු කියා සිටිති. කෙසේවෙතත්, යුක්රේන ජනාධිපතිවරයාගේ මෙම සෘජු සාකච්ඡා යෝජනාව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මේ වන විටත් ප්‍රතික්ෂේප කර ඇති අතර, මේ අතරතුර සිය ගුවන් ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම සඳහා තවත් මිසයිල ලබාදෙන ලෙස සෙලෙන්ස්කි මහතා බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමක් ද කර තිබේ.
















