ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙරටට පරිත්‍යාග කරන ලද ‘සමුද්‍රවිජය’ (P 627) ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව නිල වශයෙන් අධිකාරියට පත් කිරීම සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04) කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්ත පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් සිදුකෙරිණි.
මෙහිදී ජනාධිපතිවරයා විසින් නෞකාවේ ප්‍රථම අණදෙන නිලධාරි කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලද අතර, අනතුරුව නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය ද නිරාවරණය කරමින් නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
මෙම නෞකාව එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් 02 වන දින ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාර දෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවශ්‍යතා අනුව සිදුකළ නවීකරණයන්ගෙන් පසු මේ වසරේ (2026) පෙබරවාරි 20 වන දින ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ සිට කොළඹ බලා සිය යාත්‍රණය ආරම්භ කර තිබුණි.
‘සමුද්‍රවිජය’ නෞකාව නාවික හමුදාවට එක්වීම මෙරට සමුද්‍රීය ආරක්ෂාව මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම් ඇතුළු ජාත්‍යන්තර සමුද්‍රීය අපරාධ මැඬපැවැත්වීමේ මෙහෙයුම් සහ සෙවීමේ හා ගලවා ගැනීමේ (SAR) කටයුතු වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ශක්තියකි.
මෙම අවස්ථාව සඳහා වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, එක්සත් ජනපද වැඩබලන තානාපතිනි ජේන් හවෙල් (Jayne Howell), ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
















