ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් භාරයට ගන්නා පුද්ගලයන්ට සිදුවන අමානුෂික ක්‍රියා වැළැක්වීම සඳහා එම පනත වහාම සංශෝධනය කිරීම හෝ සම්පූර්ණයෙන් අහෝසි කිරීම සිදුකළ යුතු බව මෙරට කතෝලික සභාව අවධාරණය කරයි.
කොළඹ අගරදගුරු මැදුරේ අද (08) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් මේ බව කියා සිටියේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ බරපතළ අමානුෂික පැති පවතින බව තමන් ද පිළිගන්නා බව පියතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඇතැම් මත අසත්‍ය බව ද උන්වහන්සේ සඳහන් කළහ. සලේ මහතා තමන්ට (සිරිල් ගාමිණී පියතුමාට) එරෙහිව පවරා ඇති අපහාස නඩුවෙන් සහ වන්දි ගෙවීමෙන් බේරීම සඳහා රජය ඔහුව අත්අඩංගුවට ගත් බවට කෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ පියතුමා, මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ විමර්ශනවලින් හෙළිදරව් වූ සාක්ෂි පදනම් කරගෙන බව ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ මහ මොළකරු:
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සහරාන් ඇතුළු කණ්ඩායමේ ඉස්ලාම් අන්තවාදී මතවාදය තිබූ බව පිළිගන්නා නමුත්, මෙම බෝම්බ පිපිරීම් සිදු කිරීමට සහ බෝම්බකරුවන් පෝෂණය කිරීමට පිටුපස සිටි දේශපාලන හෝ වෙනත් බලවේග සහිත කුමන්ත්‍රණය (මහ මොළකරු) සෙවීම වින්දිතයන්ගේ අයිතියක් බව උන්වහන්සේ පැවසූහ.
එම නිසා, වර්තමානයේ සිදුවන පාස්කු විමර්ශන කිසිදු හේතුවක් මත නතර නොකළ යුතු අතර, කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු ඊට ඇඟිලි නොගැසිය යුතු බව ද සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළේය. ජනාධිපතිවරයා විසින් මහ මොළකරු හෙළි කිරීමට දින වකවානු ලබාදීම වැදගත් නොවන බවත්, කතෝලික සභාව අපේක්ෂා කරන්නේ අපක්ෂපාතී විමර්ශනයක් හරහා මෙම ක්‍රියාවලිය අධිකරණය ඉදිරියෙන් සාධාරණව නිමාවීම පමණක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.















