අසාද් මව්ලානාගේ අසත්‍ය ප්‍රකාශ මත සලේව දින 180ක් සිරගත කර වධ දුන් බවට චෝදනා
කැලණි රජමහ විහාරස්ථානයේදී හිටපු අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු වූ අවස්ථාවේදී මේජර් ජෙනරාල් සලේ ශ්‍රී ලංකාවේ රැඳී නොසිටි බවත්, එම අවස්ථාවේදී ඔහු සිට ඇත්තේ ඉන්දියාවේ සහ මැලේසියාවේ බවත් හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ කැලණි රජමහ විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා මත ජෙනරාල් සලේව අත්අඩංගුවට ගෙන දින 180ක කාලයක් අමානුෂික ලෙස සිරගත කර වධහිංසා පමුණුවා ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී නීත්‍යානුකූල පියවර ගන්නා බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා මෙසේද පැවසීය.
“අසාද් මව්ලානා නම් පුද්ගලයා දේශපාලන රැකවරණ පතා රටින් පලා ගොස් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාවට කළ අසත්‍ය ප්‍රකාශයක් මත පදනම්ව සලේව අත්අඩංගුවට ගෙන දස වධ දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ඉමාම් කොමිසම පත්කළේ ද මෙම අසත්‍ය ප්‍රකාශ මත පදනම් වයි. සහරාන් හසීම් ඇතුළු ඉස්ලාම් අන්තවාදී පිරිසක් සිදුකළ මෙම ප්‍රහාරය, සිංහල බෞද්ධ නායකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට කළ ප්‍රහාරයක් බව පවසන අයගේ මානසිකත්වය ඕනෑම අයෙකුට වටහා ගත හැකියි. එන්.ජී.ඕ. (NGO) මත යැපෙන ඇතැම් පූජකවරුන් පවසන මෙවැනි පට්ටපල් මුසාවාදයන් පිළිගත නොහැකියි.”
එමෙන්ම, පරණගම කොමිසමට අනුයුක්ත යුද අපරාධ විශේෂඥයන් විසින් නිකුත් කළ වාර්තා මගින් ලංකාවේ යුද අපරාධ සිදු නොවූ බව තහවුරු කර ඇති බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි දමිළ ජාතිකයන් දෙලක්ෂ අනූ පන්දහසකගේ ජීවිත ශ්‍රී ලංකා හමුදාව විසින් බේරා ගත් බවත් ඔහු සිහිපත් කළේය. ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිස් විසින් සිදුකරන ප්‍රකාශයන් කිසිදු ලෙසකින් ගණන් නොගන්නා බවත්, සිංහල බෞද්ධයා සතු ඉවසීමට ද සීමාවක් ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















