මධ්‍යම පළාතේ ජෛව විවිධත්වය සහ සංස්කෘතික වටිනාකම්වලින් පොහොසත් ප්‍රදේශ සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස හඳුනාගෙන, එම කලාපවල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මධ්‍යම පළාත් සභාව පියවර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ සංචාරක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම විශේෂ සංචාරක සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම ව්‍යාපෘතිය යටතේ මිනිපේ, පන්විල, උඩුදුම්බර, මැදදුම්බර, දඹුල්ල, අඹගමුව, නෝර්වුඩ්, ලග්ගල-පල්ලේගම සහ මස්කෙළිය යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්හි පවතින සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන සංවර්ධනය කිරීමට නියමිතය. අදාළ පළාත් පාලන ආයතනවල දායකත්වය ලබා ගනිමින් මෙම ප්‍රදේශ සම්බන්ධ කර ගනිමින් විධිමත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම මෙහි අරමුණයි.
මෙම සැලැස්ම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණි. පළාත් පාලන ආයතන සභාපතිවරුන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.එච්.එම්. සඳමාලි හේවගේ මහත්මිය සහ UNDP ජාතික වැඩසටහන් කළමනාකරු අශෝක අජන්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
මෙම වැඩසටහන මගින් මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය නව මානයකට ගෙන යමින් එම ප්‍රදේශවල ආර්ථික සහ සමාජීය සංවර්ධනයට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















