ලොව පුරා සිදුවන සෑම මරණ අටකින් එකකටම (1/8) දුම්කොළ භාවිතය සෘජුවම බලපාන බවත්, 2023 වසරේදී පමණක් ඒ හේතුවෙන් ලෝකවාසීන් මිලියන 7කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඇස්තමේන්තුගත නවතම පර්යේෂණ දත්ත මඟින් අනාවරණය කරගෙන තිබේ. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැති ලෝක දුම්කොළ පාලන සමුළුවේදී (World Conference on Tobacco Control) ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව, වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය දර්ශක සහ ඇගයීම් ආයතනය (IHME) විසින් ගෝලීය රෝග බර පිළිබඳ අධ්‍යයනය (Global Burden of Disease) ඇසුරින් සකස් කරනු ලැබූවකි.
මෙම පර්යේෂණ දත්තවලට අනුව, පිරිමින් අතර සිදුවන මරණ සඳහා බලපාන ප්‍රධානතම අවදානම් සාධකය දුම්කොළ භාවිතය වන අතර 2023 වසරේදී ඒ හේතුවෙන් පිරිමි මරණ මිලියන 5.59ක් වාර්තා වී ඇත. කාන්තාවන් අතර සිදුවන මරණ සඳහා එය හත්වන ස්ථානයේ පසුවන අතර, එම වසරේදී වාර්තා වූ කාන්තා මරණ සංඛ්‍යාව මිලියන 1.77කි. මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ 1990 වසරේ සිට මේ දක්වා බ්‍රිතාන්‍යය (UK) වැනි රටවල් දුම්කොළ ආශ්‍රිත මරණ 45%කින් අඩු කර ගැනීමට සමත්ව තිබුණද, සමස්ත ගෝලීය වශයෙන් එම මරණ අනුපාතය 24.4%ක සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබීමයි. විශේෂයෙන්ම ඊජිප්තුව වැනි රටවල 1990 වසරට වඩා 2023 වන විට දුම්කොළ ආශ්‍රිත මරණ 124.3%ක අතිදැවැන්ත වර්ධනයක් පෙන්වන බව IHME පර්යේෂක බෲක්ස් මෝගන් (Brooks Morgan) මහතා සඳහන් කරයි.
මීට අමතරව ආර්ජන්ටිනාවේ සායනික හා සෞඛ්‍ය සලකා බැලීම් පිළිබඳ ආයතනය (IECS) විසින් බොලිවියාව, හොන්ඩුරාස්, නයිජීරියාව, පැරගුවේ සහ උරුගුවේ යන අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල් 5ක් ඇසුරින් කළ වෙනත් පර්යේෂණයකදී හෙළි වී ඇත්තේ, දුම්කොළ භාවිතය නිසා එම රටවල වසරකට මරණ 41,000ක් සිදුවන අතර වෛද්‍ය වියදම් සහ ශ්‍රම ශක්තිය අහිමිවීම් හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක (එම රටවල ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් පමණ) දැවැන්ත ආර්ථික පාඩුවක් සිදුවන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසුස් (Dr. Tedros Adhanom Ghebreyesus) මහතා මෙම සමුළුවේදී අවධාරණය කළේ, දුම්කොළ සමාගම් විසින් තරුණ පරපුර ඉලක්ක කරගනිමින් විද්‍යුත් සිගරට් (Vapes) වැනි නවීන නිකොටින් නිෂ්පාදන හඳුන්වා දෙමින් සිටින බවයි. මේ නිසා රජයන් විසින් බදු මුදල් තවදුරටත් ඉහළ නැංවිය යුතු අතර, එමඟින් ලැබෙන ආදායම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අරමුදල් හිඟය පියවා ගැනීමට යොදාගත හැකි බව ද ඔහු යෝජනා කළේය. මේ අතර, චීනයේ ෆුඩාන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් හඳුන්වා දුන් කෘත්‍රිම බුද්ධිය (AI) සහිත ජංගම දුරකථන මෘදුකාංගයක් මඟින්, දුම්පානය නතර කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ගේ සාර්ථකත්වීමේ ප්‍රවණතාව දෙගුණයකින් ඉහළ නැංවිය හැකි බව ද පර්යේෂණාත්මකව තහවුරු කර තිබේ.
















