රාජ්‍ය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ වාහන කුලියට ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පවතින නඩු හතරෙන් එකක් සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් අද (09) තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 6ක දඩ මුදලක් ද නියම කෙරිණි.
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම චෝදනා සම්බන්ධයෙන් නඩු හතරක් ගොනු කර තිබුණි. ඒ අනුව, ඉහත දඬුවම ලබා දී ඇත්තේ එම නඩු හතරෙන් එකක් සඳහාය.
සිර දඬුවම් නියම වීමට මොහොතකට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරණ ගුණවර්ධන මහතා සඳහන් කළේ, තමන්ට යුක්තිය ඉටු වනු ඇති බවත්, අධිකරණය ස්වාධීන වන විට තමන්ට නිදහස ලැබෙනු ඇති බවත්ය. තමන්ට එරෙහිව කිසිදු සාක්ෂිකරුවෙකු සාක්ෂි ලබා දී නොමැති බවත්, මෙම තීරණය අධ්යක්ෂ මණ්ඩලය විසින් ගත් තීරණයක් බවත්, තමන් නීත්‍යානුකූලව වාහන 10ක් කුලී පදනම මත ලබා ගත් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















