හදිසි නීති රෙගුලාසි සදාකාලිකවම රට තුළ පවත්වාගෙන යෑමේ සැබෑ අවශ්‍යතාව කුමක්දැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ අජිත් පී. පෙරේරා මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. මුද්දර ගාස්තු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, නිෂ්පාදන බදු මෙන්ම එකතු කළ අගය මත බදු (VAT) පනත් යටතේ ඉදිරිපත් කර තිබූ නියෝග කිහිපයකට අදාළ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
විශේෂ තත්ත්වයන් යටතේදී හදිසි නීතිය පැනවීමට යෝජනා කළේ තමන් ඇතුළු විපක්ෂය වුවද, එය කිසිසේත්ම සදාකාලිකව තබා ගැනීමට නොවන බවත්, හදිසි නීති රෙගුලාසි අනවශ්‍ය ලෙස තවදුරටත් දීර්ඝ කරමින් පවත්වාගෙන යෑම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය. රටේ සාමාන්‍ය නීතිය යටතේ ඕනෑම ප්‍රශ්නයක් විසඳීමට නීතිමය ප්‍රතිපාදන පවතිද්දී, මෙලෙස හදිසි නීතිය බලගන්වා තැබීමට උත්සාහ කරන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
රටේ නීතියේ ආධිපත්‍යය ගැන කතා කරන පාලකයින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු 08ක් මාස හයකට අධික කාලයක් තිස්සේ පුරවන්නේ නැතිව සිටීම ලැජ්ජා සහගත කරුණක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. එසේම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කරන ලෙස විනිසුරුවරුන්, ජනතාව හෝ විපක්ෂය ඉල්ලා නොමැති පසුබිමක, රජය විසින් අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් දැනට සිටින විනිසුරුවරුන්ගේ කාලය වැඩි කිරීමට උත්සාහ කිරීම ප්රජාතන්ත්රවාදය ආපස්සට හරවන ඉතා පිළිකුල් සහගත ක්‍රියාවක් බව ද ඔහු කියා සිටියේය.
තමන් ඇතුළු කණ්ඩායම නිරන්තරයෙන්ම දූෂණයට විරුද්ධව සටන් කළ බවත්, එදා සිදුකළ මහා පරිමාණ ගල්අඟුරු වංචාවට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල අදටත් විභාග කර නොමැති බවත් අජිත් පී. පෙරේරා මහතා මතක් කර දුන්නේය. එසේම මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් අදාළ ප්‍රකට හඬ පටය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කරන ලද පැමිණිල්ල පිළිබඳව ද මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදුවී නොමැති බව පවසමින් මන්ත්‍රීවරයා රජයේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.
















