විනිසුරුවරුන් විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ කිසිදු මට්ටමක සාකච්ඡාවක් සිදුවී නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (09) පැහැදිලි කළේය.
විවිධ වෘත්තීය කණ්ඩායම් තමන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීම සඳහා වන යෝජනා රජය වෙත ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා හේතු සාධක කිහිපයක් බලපා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. විශේෂයෙන්ම කොවිඩ් (Covid-19) සමයේදී මෙන්ම ඉන් පසුව මෙරට වෘත්තිකයින් විශාල පිරිසක් රට හැර යාම මීට ප්‍රධාන හේතුවක් වී තිබේ. එමෙන්ම ඔවුන් සතු අත්දැකීම් සහ දක්ෂතා මත රාජ්‍ය සේවයේ තවදුරටත් රැඳී සිටිමින් කටයුතු කිරීමේ හැකියාව පවතින බැවින්, වෘත්තිකයන්ගේ පාර්ශවයෙන් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මීට පෙර අවස්ථාවලදී ද විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව වයස අවුරුදු 60 සිට 63 දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගත් බව සිහිපත් කළ අමාත්‍යවරයා, තවත් වෘත්තීය ක්ෂේත්‍ර කිහිපයකින්ම එවැනි ඉල්ලීම් ලැබී තිබුණ ද විනිසුරුවරුන් සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව තරයේ අවධාරණය කළේය.
















