එක්සත් රාජධානිය (UK) බලා නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ ඉරාක කුර්දිස්තාන ජාතික තරුණයන් 300කට වැඩි පිරිසක් ලිබියාවේදී සන්නද්ධ මිලීෂියා කල්ලියක් විසින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වධහිංසා පමුණුවන බව බීබීසී (BBC) පුවත් සේවය විශේෂ විමර්ශනයක් මඟින් අනාවරණය කර ඇත.
පසුගිය ගිම්හාන සෘතුවේදී සිදුවූ මෙම පැහැරගැනීමෙන් පසු, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට නම් ඔවුන්ගේ පවුල්වලින් ඇමෙරිකානු ඩොලර් 5,000ක (පවුම් 3,700ක) කප්පම් මුදලක් ගෙවන ලෙස මිලීෂියා කණ්ඩායම බලකර තිබේ. එම මුදල වහාම නොගෙවන්නේ නම්, මෙම තරුණයන්ගේ වකුගඩු බලහත්කාරයෙන් ඉවත් කරන බවට ද මිලීෂියා කල්ලිය තර්ජනය කර ඇත.
දැනට කප්පම් මුදල් ගෙවා නිදහස ලබා සිටින සමහර ප්‍රාණ ඇපකරුවන් ප්‍රකාශ කරන්නේ, පුද්ගලයන් 180කට ආසන්න පිරිසක් ඉතා කුඩා සිර මැදිරියක සිරකර තබමින් තමන්ට දරුණු ලෙස වධහිංසා පැමිණවූ බවයි. එමෙන්ම එහි රඳවා සිටි පිරිසට බලහත්කාරයෙන් ශල්‍යකර්ම සිදුකළ බවට සැකකෙරෙන ඡායාරූප සාක්ෂි ද මේ වන විට හමුවී තිබේ. මෙම දරුණු වධහිංසා පැමිණවීම් හේතුවෙන් මේ වන විටත් අවම වශයෙන් එක් ප්‍රාණ ඇපකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් කොපමණ පිරිසක් එහි සිරවී සිටින්නේද යන්න මෙතෙක් පැහැදිලි නැත.
විමර්ශනවලට අනුව මෙම සංක්‍රමණිකයන්ව ලිබියාව හරහා මධ්‍යධරණී වෙරළ තීරයට රැගෙන යාමට සැලසුම් කර තිබුණේ “නෝවා ආරොන්” නැමැති ඉරාක කුර්දි ජාතික මිනිස් ජාවාරම්කරුවෙකු විසිනි. කෙසේ වෙතත්, ඔහු සහ ලිබියානු මිලීෂියා කල්ලිය අතර මුදල් ගෙවීම් සම්බන්ධයෙන් ඇතිවූ දරුණු ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇත.
මෙම මහා පරිමාණ ජාවාරම මෙහෙයවූ නෝවා ආරොන් නැමැත්තා, මුදල් විශුද්ධිකරණය සහ මිනිස් ජාවාරම් කිරීමේ වෙනත් වැරදි සම්බන්ධයෙන් ප්‍රංශ අධිකරණයකින් වරදකරු වී මේ වන විටත් ප්‍රංශයේ වසර 10ක සිර දඬුවමක් විඳිමින් සිටින බව ද බීබීසී වාර්තාවේ දැක්වේ.
















