යල කන්නය සඳහා පොහොර ලබා දීමේ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සහ ඉදිරි මහ කන්නය සඳහා පොහොර ආනයනය හා බෙදා හැරීමේ සූදානම පිළිබඳව පොහොර සමාගම් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී පොහොර ආනයනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් පොහොර සමාගම් සතු සූදානම මෙන්ම, ඒ සඳහා රජය පාර්ශවයෙන් සැපයිය යුතු දායකත්වය සහ සහයෝගය පිළිබඳව ද ජනාධිපති ලේකම්වරයා දීර්ඝ වශයෙන් විමසා බලන ලදී.
විශේෂයෙන්ම එළඹෙන සැප්තැම්බර් මස මුලදී මහ කන්නය ආරම්භ වන බැවින්, ගොවීන්ට කිසිදු හිඟයකින් තොරව නිසි වේලාවට පොහොර ලබා දීම සඳහා සමස්ත ක්‍රියාවලියම නිශ්චිත කාලසටහනකට අනුව සිදු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. මීට අමතරව, පොහොර ආනයනය කිරීමේදී ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවචනය (මිල වෙනස් වීම්) පිළිබඳව ද දැඩි අවධානයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් විය.
මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් ක්‍රමවත් පොහොර ආනයන සැලැස්මක් වහාම සකස් කිරීමට පියවර ගත් අතර, ලබන ජූලි මස මුල් භාගයේදී එහි ප්‍රගතිය නැවත විමසා බැලීමට ද මෙහිදී සියලුම පාර්ශ්වයන් එකඟතාවකට පැමිණියහ.
















