රජයට පාඩු සිදුවන අයුරින් කටයුතු කිරීම ඇතුළු දූෂණ චෝදනා කිහිපයකට අදාළව, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු බව කොළඹ මහාධිකරණය අද (09) තීන්දු කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ නඩු හතරකට (04) මෙලෙස වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට, එක් එක් නඩුව සඳහා බරපතළ වැඩ සහිත වසර 4 බැගින් සිරදඬුවම් නියම වූ අතර ඊට අමතරව රුපියල් ලක්ෂ 18ක දඩයක් ද පැනවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා නියෝග කළේය.
2006 වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, එම ආයතනයේ පරිහරණය සඳහා කුලී පදනම මත (Rent) වාහන ලබාගැනීමේදී රජයේ මුදල් අවභාවිත කරමින් සිතාමතාම රාජ්‍ය ආයතනයට පාඩුවක් සිදු කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි. ඒ අනුව අල්ලස් කොමිසම විසින් මෙම නඩු පවරා තිබුණි.















