අද (10) පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් රවී කරුණානායක මහතා වෙත එල්ල කළ ප්‍රතිචාරය දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ.
මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය විමසමින් රවී කරුණානායක මහතා යොමු කළ පැනයට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරිය, කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණය කර නොමැති බව අවධාරණය කළාය. කෙසේ වෙතත්, ඇය එහිදී රවී කරුණානායක මහතාගේ දේශපාලන පසුබිම සිහිපත් කරමින් ඔහුට උණුසුම් ප්‍රතිචාරයක් ලබා දුන්නාය.
“ඡන්ද කල් දැමීමේ සංස්කෘතියක් තිබෙන පක්ෂයක සාමාජිකයෙක් මගෙන් මේ ප්රශ්නය ඇසීම ගැන, ඒක ‘සිස්ටම් චේන්ජ්’ එකේ (System Change) ලකුණක් කියලා අපිටත් පිළිගන්න පුළුවන්..” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය ඔහු වෙත පැවසුවේ සභාව තුළ සිනහවක් ද මතු කරමිනි.
රවී කරුණානායක මහතාගේ දේශපාලන ඉතිහාසය සහ ඔහු නියෝජනය කළ රජයන් විසින් අතීතයේ මැතිවරණ කල් දැමීම පිළිබඳව එල්ල වූ චෝදනා සිහිපත් කරමින් හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය සිදු කළ මෙම ප්‍රකාශය දේශපාලන විචාරකයන් දකිනුයේ තියුණු වාග් ප්‍රහාරයක් ලෙසය.
















