චීන – දකුණු ආසියානු 10 වන ප්‍රදර්ශනය සහ 30 වන චීන (කුන්මිං) ආනයන සහ අපනයන ප්‍රදර්ශනය – 2026 සඳහා සහභාගි වීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු දූත පිරිසක් චීනය බලා පිටත්ව ගොස් තිබේ. අමාත්‍යවරයා සමඟ වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා මහතා ද මෙම සංචාරයට එක්ව සිටින බව අමාත්‍යාංශය පවසයි. චීනයේ කුන්මිං නුවර ඩියැන්චි ජාත්‍යන්තර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී හෙට (11) ආරම්‍භ වන මෙම දැවැන්ත ප්‍රදර්ශනය ලබන 16 වැනිදා තෙක් පැවැත්වෙන අතර, එය චීනය සහ දකුණු ආසියානු රටවල් අතර වෙළෙඳ, ආයෝජන සහ කාර්මික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ලැබෙන වැදගත් වේදිකාවකි.
ලෝකයේ රටවල් 60කට වැඩි සංඛ්‍යාවක ප්‍රදර්ශකයන් සහ ආයතන සහභාගී වන මෙම ප්‍රදර්ශනය සඳහා මෙවර ලාංකික අපනයනකරුවන් 100කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 200කට වැඩි පිරිසක් එක් වෙති. මෙහිදී සහභාගී වන ව්‍යවසායකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව විසින් නොමිලේ ප්‍රදර්ශන කුටි පහසුකම් සලසා දී තිබීම විශේෂත්වයකි. ලොව දෙවන විශාලතම ආනයන වෙළෙඳපොළක් සහිත චීන වෙළෙඳපොළට සෘජුවම ප්‍රවේශවීමට මේ හරහා ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙන අතර, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තේ, කුරුඳු, කුළුබඩු, මැණික්, ආයුර්වේද නිෂ්පාදන, ආහාර හා ඇඟලුම් වැනි සාම්ප්‍රදායික නිෂ්පාදන සඳහා නව ගැනුම්කරුවන් සොයා ගැනීමට මංපෙත් විවර වනු ඇත. එමෙන්ම මෙවර ප්‍රථම වරට ධීවර නිෂ්පාදන සහිත කුටියක් ද ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබේ.
















