කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු පළාත් ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුව සංවිධානය කර තිබුණේ මුල් ළමාවිය සංවර්ධනය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා විෂයන් තුළ පවතින කාලීන තත්ත්වයන් සමාලෝචනය කිරීම සඳහාය.
දරුවන්ට බලහත්කාරයෙන් උගන්වන පද්ධතියක් වෙනුවට, ඔවුන්ට නිදහසේ ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන පද්ධතියක් ගොඩනැඟීම රජයේ වගකීම බව අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය. එමෙන්ම පරිවාසගතව සිට වයස අවුරුදු 18 සපිරී සමාජගත වන දරුවන් ස්වාධීන ආර්ථිකයකට සූදානම් කිරීමේ අවශ්‍යතාව ද ඇය පෙන්වා දුන්නාය. ඒ සඳහා දරුවන්ගේ වෘත්තීය සහ භාෂා නිපුණතා සංවර්ධනය කිරීමේ වැඩසටහන් වෙනුවෙන් 2027 අයවැයට නව යෝජනා ඇතුළත් කරන ලෙස අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ව්‍යාපාරික මට්ටමින් ලියාපදිංචි කර පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් මඟින් පවත්වාගෙන යනු ලබන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන (පෙරපාසල්) සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා කඩිනමින් නෛතික ක්‍රමවේදයක් සකස් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා මෙහිදී අවධාරණය කළේය.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුකූල වෙමින්, මෙම විෂය ක්ෂේත්‍රයට අදාළ සියලුම පොදු ප්‍රකාශන සහ අයදුම්පත් ඕනෑම දරුවෙකුට සහ ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් කියවා තේරුම්ගත හැකි සරල මට්ටමකින් සකස් කළ යුතු බව ද අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා සෘජුවම එක්ව සිටි අතර, සෙසු පළාත් ආණ්ඩුකාරවරුන් Zoom තාක්ෂණය ඔස්සේ මේ සඳහා සම්බන්ධ වූහ. අමාත්‍යාංශ ලේකම්වරයා, පළාත් ලේකම්වරුන් සහ පළාත් පරිවාස කොමසාරිස්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
















