‘Youth Link Sri Lanka’ දේශීය තරුණ හුවමාරු වැඩසටහනේ දෙවන අදියර හෙට (11) පස්වරු 3:00 ට ගම්පහ, මහර වෑබඩ පුරාණ ගල්ලෙන් විහාර පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතය.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරේ. මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම වැඩසටහනට සම්බන්ධ වන තරුණ තරුණියන් විශාල පිරිසක් එක්වීමට නියමිතය.
මෙවර වැඩසටහනේ සත්කාරක දිස්ත්‍රික්කය ලෙස ගම්පහ දිස්ත්‍රික්කය කටයුතු කරන අතර, සංක්‍රමණ දිස්ත්‍රික්ක ලෙස මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්ක තේරී පත්ව ඇත. ඒ අනුව හෙට දිනයේදී මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්ක නියෝජනය කරන තරුණ තරුණියන් ගම්පහ දිස්ත්‍රික්කය වෙත පැමිණීමට නියමිතව තිබේ.
Youth Link Sri Lanka පළමු අදියර පසුගිය මාර්තු මස 05 වැනිදා මඩකලපුවේදී සාර්ථකව ආරම්භ වූ අතර, එහිදී උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් තරුණ වැඩසටහන් 20ක් සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබීය.
















