පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව පූර්ණ එකක් නොවන බව කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (10) තීරණය කළේය. ඒ අනුව, රැඳවුම් භාරයේ සිටියදී සලේ මහතා කෲර වධහිංසාවන්ට ලක්ව ඇද්දැයි සෙවීම සඳහා පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
විශේෂඥ මානසික වෛද්‍යවරුන් තිදෙනෙකු සහ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් දෙදෙනකුගෙන් සමන්විත මෙම වෛද්‍ය මඩුල්ලට කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වන තුසිත මෙන්ඩිස්, චිත්තාහරි අබේනායක, දසන්ති අක්මීමන, දුලයිකා අමරසිංහ වාස් සහ වජිර ධර්මවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළත් වේ. මෙම වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී (කළුබෝවිල රෝහල) සිදු කරන ලෙසත්, අදාළ විශේෂඥ වෛද්‍ය වාර්තාව ජූලි මස 01 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියම කෙරිණි.
සුරේෂ් සලේ මහතා සියදිවි හානිකර ගැනීමේ අවදානමක් ඇති බැවින් ඔහුව ආරක්ෂිත ස්ථානයකට යොමු කරන ලෙස සහ රෝගී තත්ත්වය පරීක්ෂා කිරීමට වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස කළ ඉල්ලීමට අදාළ නියෝගය ප්‍රකාශ කිරීම සඳහා මෙලෙස නඩුව කැඳවා තිබුණි.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා සහ පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා ඇතුළු නිලධාරීන් පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා පෙනී සිටියේය.
















