ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SHARDA’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (10) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කළේය.
මෙලෙස දිවයිනට පැමිණි ‘Offshore Patrol Vessel’ (OPV) හෙවත් වෙරළබඩ මුර සංචාරක නෞකාවක් වන ‘INS SHARDA’ හි අණදෙන නිලධාරීවරයා ලෙස කොමාණ්ඩර් කාර්තික් සච්දේවා (Commander Kartik Sachdeva) මහතා කටයුතු කරනු ලබයි.
කොළඹ වරායට පැමිණි මෙම ඉන්දීය නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ අන්‍යෝන්‍ය සහයෝගිතා වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතය. එසේම දෙරටේ නාවික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් දිවයිනේ ඓතිහාසික සහ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද ඔවුන් සැලසුම් කර තිබේ.
















