මහනුවර සිට මහරගම බලා මගීන් ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක් බීමත්ව පදවාගෙන පැමිණි රියැදුරෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, අදාළ නඩුව අවසන් වනතුරු ඔහුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවීමට (රඳවා ගැනීමට) කෑගල්ල මහේස්ත්‍රාත් මොහොමඩ් ෆායිස් සන්රුත් ෆායිස් මහත්මිය නියෝග කළාය.
මෙලෙස රියැදුරු බලපත්‍රය අත්හිටුවනු ලැබුවේ දැරණියගල ඩිපෝවට අයත්, මහනුවර – මහරගම මාර්ගයේ ධාවනය වන ලංගම බස් රථයක සේවය කළ රියැදුරෙකි.
ඉකුත් ජූනි 7 වැනිදා මෙම බස් රථය ධාවනය වෙමින් තිබියදී කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍රදේශයේදී පොලිස් පරීක්ෂාවට ලක්ව ඇත. කෑගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවේදී රියැදුරු බීමත්ව සිටින බවට සැකසහිත වූ බැවින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව සිදුකළ ශ්වසන පරීක්ෂණයේදී (නල පරීක්ෂාව) ඔහු බීමත්ව සිටි බව තහවුරු වී තිබේ.
ඉකුත් 9 වැනිදා සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහු නිවැරදිකරු බව ප්‍රකාශ කළේය. ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි උප පොලිස් පරීක්ෂක කමල්සිරි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකරු නිවැරදිකරු යැයි පවසන බැවින්, මෙම නඩු විභාගය අවසන් වනතුරු ඔහුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවන ලෙසයි.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නඩුව අවසන් වනතුරු රියැදුරු බලපත්‍රය අත්හිටුවීමට නියෝග කළ අතර, රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත සැකකරු නිදහස් කිරීමට පියවර ගත්තාය. මෙම නඩුව නැවත ජූනි මස 30 වැනිදා කැඳවීමට නියමිතය.















