සබරගමුව පළාතේ සමුපකාර සමිතිවල කාර්යසාධන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කෙරුණු ‘සබරගමුව පළාත් සමුපකාර සමිති කාර්යසාධන තරගාවලිය – 2025’ ඇගයීමේ මහා උලෙළ ඉකුත් 9 වැනිදා සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී අභිමානවත්ව පැවැත්විණි. මෙම සම්මාන උලෙළ සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, එය සංවිධානය කර තිබුණේ සබරගමුව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසිනි.
පළාතේ විවිධ වර්ගීකරණයන්ගෙන් යුත් සියලුම සමුපකාර සමිති අතර සාධනීය තරගකාරීත්වයක් ඇති කිරීම, ජාතික ආර්ථිකයට සබරගමුව පළාත් සමුපකාර ව්‍යාපාරයේ දායකත්වය ඇගයීම, සේවකයන්ගේ වෘත්තීයභාවය, දැනුම, කුසලතා මෙන්ම ආකල්ප වර්ධනය කිරීම සහ සමිති හා දෙපාර්තමේන්තුව අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය. මෙහිදී සමිති ඇගයීමට ලක් කෙරුණේ තිරසරභාවය, සමාජ සාධාරණත්වයට දායක වීම සහ තොරතුරු තාක්ෂණය සඳහා අනුගත වීම යන ප්‍රධාන නිර්ණායක තුන (3) පදනම් කරගනිමිනි.
එම නිර්ණායකයන්ට අනුව විශිෂ්ට දස්කම් දක්වමින් පළාත් මට්ටමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට වරකාපොළ විවිධ සේවා සමුපකාර සමිතිය (MPCS) සමත් විය. එහිදී දෙවැනි ස්ථානය ඇහැළියගොඩ විවිධ සේවා සමුපකාර සමිතිය විසිනුත්, තුන්වැනි ස්ථානය කුරුවිට විවිධ සේවා සමුපකාර සමිතිය විසිනුත් දිනා ගනු ලැබූ අතර එම ජයග්‍රාහී සමිති වෙත කුසලාන සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම ආණ්ඩුකාරවරිය අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් එස්.පී.කේ. බෝධිමාන්න, සමුපකාර සේවක කොමිෂන් සභාවේ සභාපති सुनील ප්‍රේමචන්ද්‍ර, ආණ්ඩුකාරවර සම්බන්ධීකරණ ලේකම් (හිටපු පළාත් සභා මන්ත්‍රී) පුෂ්පකුමාර දිසානායක, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ශමේධානි මාතර හේවගේ සහ සමුපකාර සංවර්ධන කොමසාරිස්/රෙජිස්ට්‍රාර් නිශාන්ත සමන් කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ සමුපකාර ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ සේවකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
















