ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය, විනිමය අනුපාත ප්‍රතිපත්තිය සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී රට තුළ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය, විදේශ විනිමය අනුපාතයන්ගේ හැසිරීම, ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි ආර්ථික ප්‍රගතියට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මහ බැංකු නිලධාරීන් පියවර ගත්තේය. එමෙන්ම වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ විවිධ ප්‍රශ්න, සැකසංකා සහ අදහස් සඳහා ද මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරමින් පිළිතුරු ලබා දීම ද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
















