අපනයන ආදායම තවදුරටත් වර්ධනය කරගැනීම සහ රුපියලේ අගය ස්ථාවරව තබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ නව රීති හඳුන්වා දීමට පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර මහතා පැවසීය. මැදපෙරදිග පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය හමුවේ රුපියල ආරක්ෂා කරගැනීම සඳහා මහ බැංකුව විසින් මෙවැනි උපක්‍රමශීලී පියවර භාවිත කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.
මහ බැංකු නියමයන්ට අනුව අපනයනකරුවන් තමන්ගේ උපයන විදේශ විනිමය මාස හයක් ඇතුළත ලංකාවට රැගෙන ආ යුතු බවත්, නව රීති මඟින් එම මුදල් මෙරට ගිණුම්වල තබාගෙන සිටින කාලය තවදුරටත් අඩු කර ලංකා මුදල් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැහැදිලි කළේය. මෙමඟින් විදේශ ණය වාරික ප්‍රමාණය මෙන්ම අපනයන කටයුතුවලට අදාළ වක්‍ර ගෙවීම් ද අඩු කරගත හැකිය. මෙලෙස උපයන විදේශ විනිමයෙන් සියයට 10ක් (10%) වෙනත් වියදම් සඳහා භාවිත කිරීමට අවස්ථාව පවතී.
ගෝලීය අර්බුද මධ්‍යයේ වුවද මෙරට අපනයන ආදායම වර්ධනය වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා, 2025 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 1786ක් වූ අපනයන ආදායම 2026 ජනවාරි වන විට ඩොලර් මිලියන 1800 දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණය කළේය. වාහන ආනයනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, 2025 වසරේදී වාහන ආනයන සීමාව ඩොලර් බිලියන 1.2ක් වනු ඇතැයි අපේක්ෂා කළ ද, මේ වන විට ඩොලර් බිලියන 3.3ක් දක්වා වූ ණයවර ලිපි (LC) විවෘත කර ඇති බැවින් ඒ සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් වැය වන බවයි.
යුද්ධයේ බලපෑම් අවම වීමත් සමඟ එළඹෙන ජූලි මාසයේ සිට සංචාරක කර්මාන්තය නැවත ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කරයි. මේ දිනවල කෙටි කාලීනව විදේශ විනිමයේ යම් උච්චාවචනයක් (විචලතාවක්) දක්නට ලැබුණ ද, නිසි පරිදි ආදායම් රැස් කරමින් ජනතාවගේ අභිලාෂයන් කිසිදු අයුරකින් නොපිරිහෙළා ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව ද නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















