පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ අලුතින් ස්ථාපිත කරන ලද අති නවීන සිමියුලේටර් රසායනාගාරය (Simulator Laboratory) සිසු අයිතියට පත් කිරීම ඉකුත් 9 වැනිදා උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අති නවීන පහසුකම් සහිත රසායනාගාරය මඟින් ආධුනික දන්ත වෛද්‍ය සිසුන්ට, සැබෑ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රථම, තාක්ෂණිකව අනුකරණය කරන ලද සායනික පරිසරයක් තුළ වටිනා ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසේ. එමෙන්ම සිසුන්ගේ පූර්ව සායනික පුහුණුව තවදුරටත් ගුණාත්මක ලෙස වැඩිදියුණු කිරීමට ද මෙමඟින් විශාල පිටුවහලක් ලැබෙනු ඇත.
මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රංජිත් පල්ලේගම මහතා, දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා ඇතුළු අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ සිසුන් පිරිසක් සහභාගී වූහ.
















