මොනරාගල දිස්ත්‍රික්කයේ 2015 – 2019 කාලසීමාව තුළ අතරමඟ නතර වී, කැලෑවට යටවෙමින් පැවති නිවාස යෝජනා ක්‍රම තුනකට අයත් නිවාස 84ක ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් කළමනාකරු එම්.පී.කේ.එච්. හේවාපතිරණ මහත්මිය පැවසුවාය.
මේ යටතේ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඳිකිවුල වසමේ නක්කලවත්ත ප්‍රදේශයේ නිවාස 29ක, එම කොට්ඨාසයේම කහම්බාන වසමේ නිවාස 30ක සහ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටබෝව වසමේ ගලාහාබැද්ද ප්‍රදේශයේ නිවාස 25ක වැඩ මෙලෙස යළි ආරම්භ කර තිබේ.
මෙම අත්හැර දමා තිබූ නිවාස ව්‍යාපෘතිවල ඉතිරි ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිවාස හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් ලබාදී ඇත. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරෙන මෙම නිවාසවල වැඩකටයුතු සියල්ලම මෙම වසර අවසන් වීමට ප්‍රථම සම්පූර්ණයෙන් නිම කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබේ.
















