ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි වීසා ප්‍රතිපත්ති හේතුවෙන් ඇතැම් රටවල ක්‍රීඩකයන්ට, නිලධාරීන්ට සහ රසිකයන්ට බාධා එල්ල වී ඇති පසුබිමක, ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද (11) නිල වශයෙන් ආරම්භ වෙයි. ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් තුනේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ සමාරම්භක තරගය, මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා පැමිණෙමින් සිටි අප්‍රිකානු කලාපයේ දක්ෂතම විනිසුරුවරයෙකු වන සෝමාලියානු ජාතික ඕමාර් අබ්දුල්කාදීර් අර්තාන්ට ඇමෙරිකාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප වීමත් සමඟ ට්‍රම්ප්ගේ වීසා සීමාවන් දැඩි කතාබහට ලක්ව තිබේ. මේ වන විට ඔහු ෆීෆා (FIFA) විනිසුරු නාමලේඛනයෙන් ද ඉවත් කර ඇති අතර, හයිටි, ඉරානය, සෙනගල් සහ අයිවරි කෝස්ට් ඇතුළු ට්‍රම්ප්ගේ වීසා තහනම් ලැයිස්තුවේ සිටින රටවල් රැසක පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටිති. කෙසේ වුවද, කණ්ඩායම් 48ක සහභාගිත්වයෙන් තරග 104ක් පුරා පැවැත්වෙන මෙම දැවැන්ත තරගාවලිය සාර්ථකව නිම කිරීමට ෆීෆා සංවිධායකයන් සියල්ල සූදානම් කර ඇත.
මෙවර ලෝක කුසලානය පාපන්දු ලොවේ පුරාවෘත්තයන් වන 38 හැවිරිදි ලයනල් මෙසී සහ 41 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙන්ම බ්‍රසීලයේ නේමාර් (34) වැනි දැවැන්තයන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා අවසාන ලෝක කුසලානය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙසී සහ රොනාල්ඩෝ යුගයේ නිමාව සනිටුහන් වන මෙම වේදිකාව, නූතන පාපන්දුවේ නව තරු වන කයිලියන් එම්බැපේ, අර්ලිං හාලන්ඩ්, ජූඩ් බෙලිංහැම් සහ 16 හැවිරිදි ලැමීන් යමාල් වැනි ක්‍රීඩකයන්ට තමන්ගේම නව යුගයක් ආරම්භ කිරීමට කදිම අවස්ථාවක් වනු නොඅනුමානය.
















