සිගරට් බද්ද වැඩි නොකිරීම හේතුවෙන් රටට රුපියල් බිලියන 17.3ක දැවැන්ත ආදායමක් අහිමි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා භාණ්ඩ හා සේවා 97ක බදු බර ජනතාව මත පටවා තිබියදී, සිගරට් බද්ද පමණක් වැඩි නොකිරීම ගැටලුවක් බව ඔහු පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
සිගරට් බද්ද සියයට 75කට වඩා වැඩි විය යුතු බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, එම බදු මුදල අය කරගෙන රටේ ජනතාවට සහන සලසන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කළේය. එසේම, වත්මන් රජය පාලනය කරන අතරතුර බඩු මිල අඩුවී ඇති බවට පවතින ප්‍රකාශ සත්‍යයක් දැයි පාරිභෝගික ජනතාවගෙන් විමසා බලන ලෙස ඔහු අභියෝග කළේය.
තවද, විපක්ෂ නායකවරයා මෙහිදී කර්මාන්ත ශාලා ඇතුළු නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින පසුබෑම පිළිබඳව ද කරුණු දැක්වීය. කාම්බෝජයේ සිට පැමිණි සයිබර් වංචාකරුවන් හේතුවෙන් රට සයිබර් වංචාවල මූලස්ථානයක් බවට පත්වීමේ අවදානම සහ ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.
සිහින ලෝක මවා ජනතාව නොමග නොයවා, ජනතාවගේ සැබෑ දුක හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.
















