මහා භාණ්ඩාගාරයේ 2025 වාර්ෂික වාර්තාවට අනුව, පසුගිය වසරේදී මෙරට ප්‍රධාන රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය සතු ව්‍යාපාරවල (SOEs) සමස්ත කාර්යසාධනය සහ ලාභදායීත්වය සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඒවායේ පාලනය සඳහා සුදුසුකම් ලත් නිලධාරීන් පත් කිරීමට රජය පියවර ගෙන තිබුණ ද, එම ආයතනවල ලාභය පෙර වසරට සාපේක්ෂව සියයට 17කින් පහළ ගොස් තිබේ.
මෙම අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රජය සතු ව්‍යාපාර සතු වත්කම්වලින් උපයා ගත හැකිව තිබී ඇත්තේ සියයට 2.7ක අවම ලාභයක් පමණි. මෙම අකාර්යක්ෂමතාව නිසා මහා භාණ්ඩාගාරයට සහ බදු ගෙවන ජනතාවට දැරීමට සිදුවන ශුද්ධ මූල්‍ය බර රුපියල් බිලියන ගණනින් ඉහළ ගොස් ඇතැයි වාර්තාව පෙන්වා දෙයි.
2024 වසරේදී රජය සතු ප්‍රධාන මූල්‍ය නොවන ව්‍යාපාරික ආයතන 51ක් ලාභ උපයා ගැනීමට සමත් වුවද, 2025 වසරේදී ඇතැම් ප්‍රධාන රාජ්‍ය ආයතන දිගින් දිගටම පාඩු ලැබීම මෙම සමස්ත පහත වැටීමට ප්‍රධාන හේතුව වී තිබේ.
















