අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජය විසින් මෙතෙක් කිසිදු නිල කැබිනට් අනුමැතියක් හෝ අවසන් තීරණයක් ගෙන නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අද (11) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව තහවුරු කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා කිසිදු නිල අනුමැතියක් ලබාගෙන නොමැති බවයි. අධිකරණ ක්ෂේත්‍රයට අමතරව වෙනත් විවිධ වෘත්තිකයින් ද තම විශ්‍රාම වයස ඉහළ නංවන ලෙස රජයෙන් ඉල්ලීම් කර ඇති බවත්, එම ඉල්ලීම්වල සාධාරණත්වය සහ ඇතැම් ඒවායේ පවතින දේශපාලනික පසුබිම පිළිබඳව රජය අවධානය යොමු කරමින් සිටින බවත් ඔහු පැවසීය. ඕනෑම ඉල්ලීමක් සම්බන්ධයෙන් රජයක් ලෙස සාධනීයව සලකා බැලීමට සූදානම් වුවද, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම ප්‍රමුඛත්වයෙහිලා සලකන බව ඔහුගේ ප්‍රකාශයෙන් ගම්‍ය විය.
මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක් ද මෙම කාරණය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරමින් සිය විරෝධතා සහ අදහස් පළ කර තිබුණි.
















