කොළඹ ගාලු මුවදොර මුහුදු තීරයේ දිය නෑමට ගිය මාලිගාවත්තේ පදිංචි දරුවන් පිරිසක් මුහුදට ඇදගෙන යාමෙන් සිදුවූ ඛේදවාචකයකින් 11 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 10 හැවිරිදි දරුවෙකු තවමත් අතුරුදන්ව පවතින බව පොලිසිය පවසයි.
ඊයේ (ජූනි 10) දින මෙම සිදුවීම වාර්තා වී තිබේ. මාලිගාවත්තේ පදිංචි දරුවන් හය දෙනෙකු මෙසේ මුහුදට ඇදගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන්, පොලිස් නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් එක්ව ඔවුන්ගෙන් පස් දෙනෙකු බේරා ගැනීමට සමත් විය.
බේරාගත් දරුවන්ගෙන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලටත්, තිදෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු එක දරුවෙකු මියගොස් ඇති බව තහවුරු විය. අතුරුදන්ව සිටින අනෙක් දරුවා සොයා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් මේ වන විටත් මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතී.
කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















