අද (11) පාර්ලිමේන්තුවේදී උණුසුම් අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ, වැඩිහිටි දීමනාව පසුගිය මාස දෙකක කාලය තුළ ලබා දී නොමැති බවයි. එමෙන්ම වැඩිහිටියන්ගේ ඉතුරුම් සඳහා ලබා දෙන බවට පොරොන්දු වූ සියයට තුනක අමතර පොලී ප්‍රතිලාභය ද මේ වන විට නොලැබෙන තත්ත්වයක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම කරුණු ඉදිරිපත් කළේ සමථකරණ සහ සිවිල් හා වාණිජ ආරවුල් සංශෝධිත පනත් කෙටුම්පත සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහාය දැක්වීමේ පනත යටතේ නියමය පිළිබඳ විවාදයට එක්වෙමිනි.
මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රය සහ රැකියා උත්පාදනය පිළිබඳව ද අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා, උසස් පෙළ සිසුන්ගේ විෂය නිර්දේශයන් මෙතෙක් සම්පූර්ණ වී නොමැති බවත්, උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බවට ලබා දුන් පොරොන්දු ඉටු වී නොමැති බවත් පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ දේශපාලන සම්බන්ධකම් පිළිබඳව ද ප්‍රශ්න කරමින්, ඔවුන් පත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇති වූ දේශපාලන සංවාද කිහිපයක් ද සිහිපත් කළේය.
















