පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රාත්‍රී කාලයේ නිවාස තුළට බලහත්කාරයෙන් ඇතුළු වී මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් තිදෙනෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ හැත්තෑවකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. මෙම රන් භාණ්ඩ මීට දින කිහිපයකට ඉහතදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී කොල්ලකෑ ඒවා බවට පොලිසිය හඳුනාගෙන තිබේ.
සැකකරුවන් ඇඹිලිපිටිය, කදුරුගස්ආර, තුන්කම සහ කෑගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ. ඔවුන් අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















