පසුගිය 2022 වසරේ මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය විසින් රටේ පවත්නා සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ, සේවාවන් සහ පුද්ගල ආදායම් මත පනවන බදු මුදල් අතිදැවැන්ත ලෙස ඉහළ නැංවීමට පියවර ගත්ත ද, කිසිවෙකුගේ අවධානයට ලක් නොවන පරිදි සිගරට් මිලෙහි අඩංගු සැබෑ බදු ප්‍රතිශතය (Effective Tax Share) අභිරහස් ලෙස පහත වැටී ඇති බව නවතම ආර්ථික දත්ත මඟින් හෙළිදරව් වේ. රාජ්‍ය ප්‍රතිපත්තිවල පවතින මෙම බරපතල විකෘතිතාවය සහ බලධාරීන්ගේ අක්‍රියතාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට වසරකට අහිමි වන බදු ආදායම රුපියල් බිලියන 17.3ක් (LKR 17.3 Billion) හෙවත් කෝටි 1,730ක් දක්වා අතිදැවැන්ත වන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශ කරනු ලබන ජාත්‍යන්තර බදු මට්ටමට අනුකූලව සිගරට් සඳහා බදු පැනවීමට රජය කටයුතු කළේ නම්, මෙම බිලියන 17.3ක අමතර ආදායම ඉතා පහසුවෙන් ජාතික භාණ්ඩාගාරයට එකතු කර ගැනීමට ඉඩකඩ තිබූ බව වර්තා වේ.
පසුගිය 2021 වසරේ සිට 2026 වසර දක්වා වූ කාලය තුළ පුද්ගල සහ ආයතනික ආදායම් බදු ප්‍රතිශතයන් සීග්‍රයෙන් ඉහළ නැංවුණු අතර, මෙරට සාමාන්‍ය වැට් බද්ද (VAT) 8% සිට 18% දක්වා අතිවිශාල ලෙස වැඩි කෙරුණි. ඊට අමතරව තවත් 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් (SSCL) පැනවූ අතර, 2024 ජනවාරි මාසයේ සිට මීට පෙර වැට් බද්දෙන් නිදහස් කර තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා 97ක් ද බලහත්කාරයෙන් වැට් බදු දැලට හසු කිරීමට රජය කටයුතු කළේය. රටේ සෑම ක්ෂේත්‍රයකම බදු බර මෙලෙස ඉහළ යද්දී, සිගරට් සමාගම් මුළුමනින්ම ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින්, සිගරට් සිල්ලර මිලෙහි අඩංගු බදු ප්‍රතිශතය සාමාන්‍යයෙන් සියයට 7.2කින් (7.2 percentage points) රහසිගතවම පහත හෙළාගෙන තිබේ. සිගරට් සඳහා අය කෙරෙන සුරාබදු ස්ථාවර රුපියල් අගයක් (Fixed rupee amount) ලෙස පවතින බැවින්, සිගරට් සමාගම් විසින් මිල ගණන් ඉහළ දැමුව ද රජය විසින් මෙම සුරාබදු නිසි පරිදි සංශෝධනය නොකිරීම හේතුවෙන් සිගරට් මිලෙහි බදු කොටස මෙලෙස දිනෙන් දින පහත වැටී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව සිගරට් එකක සිල්ලර මිලෙන් අවම වශයෙන් 75%ක්ම බදු වශයෙන් රජයට අය කරගත යුතුය. ශ්‍රී ලංකාව මීට පෙර මෙම ජාත්‍යන්තර මට්ටමට ඉතා සමීපව සිටි අතර, 2018 වසරේදී මෙරට සිගරට්වල සාමාන්‍ය බදු ප්‍රතිශතය 74%ක් ලෙස ඉතා ඉහළ මට්ටමක පැවතුණි. එහෙත්, බලධාරීන්ගේ සිතාමතා සිදුකළ නිහඬතාවය නිසා 2026 වසර වන විට එම බදු ප්‍රතිශතය 66.8% දක්වා දරුණු ලෙස බිඳ වැටී තිබේ. සරලවම පැවසුවහොත්, සිගරට් සඳහා වැය කෙරෙන සෑම රුපියල් 12කින්ම රුපියල් 9ක්ම බදු ලෙස රජයට ලැබිය යුතු වුව ද, වත්මන් ක්‍රමවේදය යටතේ රජයට ලැබෙන්නේ රුපියල් 8ක් වැනි අඩු මුදලකි. මේ අනුව, දුම්කොළ සමාගම්වලට උපරිම ලාභ ලැබීමට ඉඩ සලසමින් සිගරට් සඳහා වැය කෙරෙන සෑම රුපියල් 12කින්ම රුපියලක මුදලක් රජය විසින් ස්වේච්ඡාවෙන්ම අත්හරිමින් සිටින බව ආර්ථික විශ්ලේෂකයෝ දැඩි සේ විවේචනය කරති.
















