එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් නැගෙනහිර පළාතේදී නිරායුධ පොලිස් නිලධාරීන් 600කට අධික පිරිසක් සමූහ වශයෙන් ඝාතනය කර අදට (11) වසර 36ක් ගතවීම නිමිත්තෙන්, මියගිය පොලිස් රණවිරුවන් සිහිපත් කිරීමේ ප්‍රධාන ගුණසමරු උත්සවය අම්පාර පොලිස් අධිකාරී කාර්යාලීය පොලිස් ස්මාරකය අසලදී පැවැත්විණි.
අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සර්ව ආගමික වතාවත්වලින් ආරම්භ වූ අතර, අනතුරුව පොලිස් කොඩිය අඩකුඹු කර නිල පොලිස් උත්තමාචාර මධ්‍යයේ ස්මාරකය වෙත මල්දම් තබා උපහාර දැක්වීම සිදු කෙරුණි. මෙම අවස්ථාවට ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන්ගේ ආදරණීය දෙමාපියන් සහ දරුවන් ද හැඬූ කඳුළින් යුතුව සහභාගි වූ අතර, මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ මෙම සිදුවීම සමස්ත පොලිස් ඉතිහාසය තුළ සදාකාලිකවම නොමැකෙන ඛේදවාචකයක් බවයි.
මෙම අවස්ථාවට අම්පාර කොට්ඨාස වැඩබලන නිලධාරී සහකාර පොලිස් අධිකාරී නුවන් දන්තනාරායන, සහකාර පොලිස් අධිකාරී බණ්ඩාර දිසානායක, මහඔය සහකාර පොලිස් අධිකාරී සුජීව ප්‍රියන්ත බණ්ඩාර සහ පොතුවිල් සහකාර පොලිස් අධිකාරී එම්. දයාරත්න යන මහත්වරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















