මියගිය පුද්ගලයෙකුගේ හදිසි මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අල්ලස් කොමිසම වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. පැමිණිලිකරුගේ ඥාතියෙකු 2025 දෙසැම්බර් මස 28 වන දින රාගම රෝහලේදී මියගොස් ඇති අතර, එම මරණයට අදාළ වාර්තාව ලබාදීම වෙනුවෙන් සැකකරු රුපියල් 100,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබුණි.
ඒ අනුව, ඉකුත් 08 වන දින අදාළ අල්ලස් මුදල ලබාගෙන මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කර සැකකරු මඟහැර සිට ඇත. පසුව අද (11) දින සැකකාර හදිසි මරණ පරීක්ෂකවරයා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු හෙට (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















