ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කුරුඳු අපනයනය මඟින් දැනට වාර්ෂිකව උපයන ඇමෙරිකානු ඩොලර් මිලියන 260ක ආදායම, ඉදිරියේදී ඩොලර් මිලියන 300 දක්වා ඉහළ නැංවීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී කුරුඳු වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ අතර, දැනට අක්කරයකින් ලැබෙන කිලෝග්‍රෑම් 250ක සාමාන්‍ය අස්වැන්න, නිසි කළමනාකරණයකින් යුතුව කිලෝග්‍රෑම් 400 දක්වා වැඩි කිරීමට පවතින හැකියාව නිලධාරීන් පෙන්වා දුන්නේය. කුරුඳු කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන අභියෝග ලෙස කැෂියා (Cassia) නිෂ්පාදනවලින් එල්ල වන තරගකාරීත්වය, අඩු මිල වෙළඳපොළ මත යැපීම, අපනයන වෙළඳපොළේ පවතින ඒකාධිකාරී තත්ත්වයන්, සීමිත පර්යේෂණ සහ දුර්වල වෙළඳ නාමකරණය (Branding) මෙහිදී හඳුනාගෙන තිබේ.
මෙම ගැටලුවලට විසඳුම් ලෙස නව ලෝක වෙළඳපොළවල් සොයා ගැනීම, අගය එකතු කළ (Value-added) ශ්‍රී ලාංකේය කුරුඳු නිෂ්පාදන ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීම සහ දේශීය වගාකරුවන්ගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය විය. මීට අමතරව, දැනට ඉදිකිරීම් සිදුවන ජාතික කුරුඳු කර්මාන්තය ආශ්‍රිත සංස්කෘතික ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රගතිය සහ අතුරු බෝගයක් ලෙස කුරුඳු වගා කිරීම ව්‍යාප්ත කිරීම ගැන ද සාකච්ඡා වූ අතර, කර්මාන්තයේ ඉදිරි උපායමාර්ගික වැඩසටහන් ඇතුළත් “මාර්ග සිතියම” (Roadmap) ද මෙහිදී අමාත්‍යවරයා වෙත නිල වශයෙන් බාරදෙන ලදී.
















