පසුගිය 2025 වසර තුළදී ළමා ශ්‍රමිකත්වයට අදාළව පැමිණිලි 516ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ජුනි මස 12 වෙනිදාට යෙදෙන “ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය” වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය මේ බව සඳහන් කර ඇත.
එම පැමිණිලි අතරින් ළමා ශ්‍රමිකත්වය පිළිබඳ පැමිණිලි 173ක්, ළමා වෙළඳාම පිළිබඳ පැමිණිලි 53ක් සහ ළමුන් සිඟමනේ යෙදවීම පිළිබඳ පැමිණිලි 287ක් ලැබී තිබේ. වයස අවුරුදු 16ට අඩු සෑම ළමයෙක්ම අනිවාර්ය අධ්‍යාපනය සඳහා යොමු කළ යුතු අතර, වයස අවුරුදු 16-18ත් අතර ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන්වල යෙදවිය නොහැකි බව එම අධිකාරිය පෙන්වා දෙයි.
ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය අවධාරණය කරන්නේ ළමයින් මෙහෙකාර සේවයට හෝ සිඟමනේ යෙදවීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ බන්ධනාගාර ගත කිරීම් සහ දඩ මුදල්වලට යටත් කළ හැකි බරපතළ වරදක් බවයි. ළමා මෙහෙකාර සේවය, වීදි වෙළඳාම, මත්ද්‍රව්‍ය විකිණීම, ගණිකා වෘත්තිය සහ සයිබර් තාක්ෂණය ඔස්සේ ළමයින් වාණිජ කටයුතුවලට යොදාගැනීම ද අපරාධ නීතිය යටතේ වරදක් වන අතර, ළමයින්ගේ ආරක්ෂාවට අන්තරායකර රැකියා 71ක් මේ වන විට හඳුනාගෙන තිබේ.
















