2025 වසරේදී මෙරට ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර 51හි සමස්ත ලාභය රුපියල් බිලියන 539 සිට රුපියල් බිලියන 444 දක්වා 17%කින් පහත වැටී ඇති බව මහා භාණ්ඩාගාරයේ වාර්තාවක් හෙළි කරයි. මෙම ආයතන සතු සමස්ත වත්කම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 16.5ක් (GDP එකෙන් 50%ක්) වුවද, ඉන් ලැබී ඇත්තේ 2.7%ක අවම ප්රතිලාභයකි. උපයා ඇති ලාභයෙන් 68%ක්ම (රුපියල් බිලියන 304ක්) ලංකා බැංකුව ඇතුළු රාජ්‍ය මූල්‍ය අංශයෙන් ලැබී ඇති අතර, සෙසු ආයතන ලාභ ලබා ඇත්තේ රජයේ ඒකාධිකාරී රැකවරණය මතය.
පෞද්ගලික අංශය සමඟ තරඟකාරී ක්ෂේත්රවල පවතින රාජ්‍ය ආයතන සියල්ලම පාහේ අසාර්ථක වී ඇත. විශේෂයෙන්ම, 2024දී ලාභ ලැබූ ලංකා විදුලිබල මණ්ඩලය 2025 වන විට රුපියල් බිලියන 38.7ක දැවැන්ත පාඩුවකට ඇද වැටී ඇති අතර ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 23.2ක පාඩුවක් ලබා තිබේ. රාජ්‍ය ව්‍යාපාරවලින් භාණ්ඩාගාරයට රුපියල් බිලියන 56.5ක ආදායමක් ලැබුණ ද, ඒවා නඩත්තු කිරීමට රජයට රුපියල් බිලියන 103ක අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුව ඇත. ඒ අනුව මෙම ආයතන නඩත්තුව වෙනුවෙන් බදු ගෙවන ජනතාවට දරන්නට සිදුව ඇති ශුද්ධ බර රුපියල් බිලියන 117කි. පාලන ගැටලු පෙන්වමින් ලංකා සතොස, මිල්කෝ ඇතුළු ආයතන කිහිපයක් 2024 විගණන වාර්තා පවා මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව ද එහි සඳහන් වේ.
















