ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මහේෂ් වීරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ක්‍රීඩිකාවන්ට ඔහුගෙන් එල්ල වූයේ යැයි කියන දැඩි මානසික පීඩනය පිළිබඳව ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් කාන්තා ක්‍රිකට් කමිටුව රැස්ව මෙම තීරණය ගෙන ඇති අතර ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව ඉදිරියේදී විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතය.
පසුගිය 10 වනදා නාවික හමුදා කාන්තා කණ්ඩායම සමඟ පැවැති පුහුණු තරගයකින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කළ ද, පුහුණුකරු විසින් ක්‍රීඩිකාවන්ට දැඩි ලෙස දොස් පවරා ඇත. එම පීඩනය දරාගත නොහැකිව කණ්ඩායම් නායිකා චමුදි ප්‍රබෝධා ව්‍යාකූලත්වයට පත්ව රෝහල් ගත කිරීමට පවා සිදුව තිබේ. මීට පෙර ද ඔහුගෙන් එල්ල වූ මෙවැනි පීඩන හේතුවෙන් ඇතැම් දක්ෂ ක්‍රීඩිකාවන් ක්‍රීඩාවෙන් පවා ඉවත් වී ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
මේ අතර, පුහුණුකරු තනතුරෙන් ඉවත් කළ මහේෂ් වීරසිංහ මහතා වෙනුවට වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස රුවින් පීරිස් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
















