හම්බන්තොට ජාත්‍යන්තර වරාය මඟින් හම්බන්තොට මහ නගර සභාවට වරිපනම් බදු වශයෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 25කට අධික මුදලක් පැහැර හැරීම හේතුවෙන්, වරායේ දේපළ තහනම් කිරීමට රතු නිවේදන නියෝග නිකුත් කර ඇති බව නගරාධිපති ඩි.ඒ. ගාමිණි මහතා අනාවරණය කරයි. කෙසේ වුවද, වරාය කළමනාකාරීත්වය විසින් මීට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරා දේපළ තහනම් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන ඇති බව ද මහ සභා රැස්වීමේදී හෙළි විය.
චීන සමාගම විසින් වරායේ සේවා කටයුතු ආරම්භ කළ දා සිට බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති අතර, මේ වන විට දඩ පොලී ද ඇතුළුව හිඟ මුදල රුපියල් කෝටි 25 ඉක්මවයි. මෙයින් රුපියල් කෝටි 14ක මුදලක් සඳහා මහ නගර සභා ආඥා පනත ප්‍රකාරව දේපළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. වාණිජ වරායක් ලෙස තක්සේරු කිරීමේ පවතින ගැටලු මත වරාය පාර්ශ්වය නීතිමය පියවර ගෙන ඇති අතර, නගර සභාව වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටින නීතිඥ සමාගම සඳහා රුපියල් ලක්ෂ 10ක ගාස්තුවක් ගෙවීමට සභාවේ අනුමැතිය හිමිව ඇත.
















